පාසලේ ඓතිහාසික විකාශය
ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය ගරු ඩී. එස්. සේනානායක මැතිතුමාගේ සංකල්පයක් අනුව ගොවි ජනපද ව්‍යාපරය ආරම්භ කරන ලදී. ඒ අනුව කාගම, කටියාව ගොවිජනපදය මුලින්ම ආරම්භ කරන ලද ගොවි ජනපද ව්‍යාපාරයයි. සේනපුර ගොවි ජනපදය, කාගම ගොවිජනපද ව්‍යාපාර සමඟම බිහිවුණු ගොවි ජනපද ව්‍යාපාරයයි. මෙම විදුහල අළුත් කොලනිය නමින් ආරම්භ වූ බව පාසල් ඉතිහාසය පිළිබඳ විමසා බැලීමෙන් පෙනේ.
1948 නොවැම්බර් මස 05 වන දින කාගම ගොවි ජනපදයේ වෛද්‍ය නිලධාරී මහතා විසින් පාඨශාලාව විවෘත කරන ලද බවත් සිසුන් විසි දෙදෙනෙකුගෙන් සහ එක් ගුරුවරයෙකු යටතේ පාසල ආරම්භ කරන ලද බවත් පෙනීයයි. මුල්ම විදුහල්පතිතුමා ටී. උක්කුබණ්ඩා මහතාය.
1948 දෙසැම්බර් 11 වන දින ලොග් සටහනට අනුව මෙම විදුහල අ/සේනපුර ආණ්ඩුවේ මිශ්‍ර පාසලක් නමින් හඳුන්වා ඇත. එම වසර අවසන්වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 67 දක්වා වැඩිවී ඇත. 1949 මැයි 01 වන දින සිට අළුත් විදුහල්පතිවරයෙක් යටතේ මෙම විදුහල ආරම්භකර ඇත. මේ වන විට ගුරු මණ්ඩලය තුන්දෙනෙක් සිට ඇති අතර ශිෂ්‍ය සංඛ්‍යාව 182 දක්වා ඉහළ ගොස් ඇත. 1954 සිට 1958 දක්වා කාලය තුළදී පාසලේ ශිෂ්‍ය ගලනය පහල බැස්මක් දක්නට ඇතත් මුල් වරට ෙජ්‍යෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගයට 04 දෙනෙක් පෙනී සිට ඉන් දෙදෙනෙක් සමත්වී ඇති අතර එක් අයෙක් ඌන සාමාර්ථයක් ලබා ඇත.
1963 වර්ෂයේදී මෙම විදුහල මහා විද්‍යාල තත්වයට උසස් කර ඇති අතර මේවන විට ශිෂ්‍ය සංඛ්‍යාව 481 දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රථම වරට මෙම විදුහලින් අ. පො. ස. (උ. පෙළ) විභාගයට සිසුන් තිදෙනෙකු ඉදිරිපත්කර ඇති අතර එම තිදෙනාම විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලබා ඇත. 1988 වන විට මෙම විදුහල පර්ශද මූලස්ථ විද්‍යාලයක් බවට උසස් කරනලදී. එහෙත් 1991 වන විට තඹුත්තේගම කොට්ඨාසයෙන් කැඩී කැකිරාව කොට්ඨාසයට සම්බන්ධ කරනලදී.
70 දශකයේ දීප්තිමත් විදුහලක්ව පැවති අ / සේනපුර මහ විදුහල සිසුන් දහසකට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවකගේ පහස ලැබූ මාතාවකි. 70 දශකයේ මහවැලි ව්‍යාපාරයේ ආරම්භයත් සමඟ මහවැලි ව්‍යාපාරය තුළ නව ජනපද බිහිවීම ආරම්භ විය. ඒ සමඟම නව පාසල් ආරම්භ වීමට යෙදුණු අතර විදුහලේ ශිෂ්‍ය ගහණය අඩුවීමට එය ප්‍රධාන හේතුවක් විය. එයට හේතුව එම ගම්වලින් පැමිණි සිසුන් අළුත් පාසල් කරා ඇදී යාමයි.
මෑත යුගයේ දෙමව්පියන් තුළ ඇතිවී තිබෙන ආකල්ප ද විදුහලේ ශිෂ්‍ය ගහණය අඩුවීමට තවත් හේතුවක්වී ඇත. එනම් නගරයේ පාසල් කරා දරුවන් යොමුකර අධ්‍යාපනය ලබාදීමට උත්සාහ කිරීමයි. දෙමව්පියන් විවිධ රැකියා සොයා වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණයවීමත් නාගරීකරණය නිසාත් ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවීමට බලපා ඇත.
ආරම්භයේ සිට මේ දක්වා මෙම විදු මාතාව දහස් ගණනකගේ නැණස පාදා ඇති අතර දිවයිනේ සතර දිග්භාගයේ විවිධ රැකියාවල නිරතවන බුද්ධිමතුන් සිය ගණනක් බිහිකර ඇති බව කිව හැකිය. එදා සිට අද දක්වා රජයේ විභාග වලින් හා ක්‍රීඩා ක්ෂේත්‍රයෙන්ද සමත්වන ප්‍රතිශතය ඉහළ මට්ටමක තබා ගැනීමට සමත්ව සිටී. 2014 වර්ෂයේ ශිෂ්‍යාවන් දෙදෙනෙක් ක්‍රීඩා අංශයෙන් සමස්ත ලංකා මට්ටම දක්වා ගෙන ඒමට හැකිවූ බවද අගය කළ හැකිය. 2011 වර්ෂයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලදී ඉපලෝගම කොට්ඨාශයේ ඉහළම ප්‍රතිශතය පෙන්වූ අතර 2014 වර්ෂයේ ද ඉහළම ප්‍රතිශතයක් පෙන්වීමට සමත්වී ඇත. මෑත යුගයේ ශිෂ්‍ය සංඛ්‍යාව 320 ක් පමණ වුවද මෙම වසර කිහිපය දෙස බලනවිට ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවන තත්වයක් උදාවී ඇත. ඉදිරි පස් වසර තුළදී ශිෂ්‍ය සංඛ්‍යාව 20% කින් වැඩිවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. නොයෙක් අභියෝග තිබුණ ද එම විවිධ අභියෝග වලින් නොසැලී දිරිය මවක් මෙන් ඉදිරියටත් සෙන්පුර විදුහල් මාතාව දරු පරපුර පෝෂණය කරනු ඇත.